රැවුලත් ක්‍රීඩාවත් මට එක වගෙයි- හෂීම් අම්ලා



අඩියකට ආසන්න දිගට වැවූ රැවුලත්, සම්පූර්ණයෙන්ම බූ ගෑ හිසත් හෂීම් අම්ලාගේ අනන්‍යතාව කියා පාන්නකි.
වසර සියයකට අධික දීර්ඝ ක්‍රිකට් ඉතිහාසයකට උරුමකම් කියන දකුණු අප්‍රිකා ක්‍රිකට් ක්‍රීඩාව 70 දශකයේ හා 80 දශකයේ දී එරට ඇතිවූ වර්ණභේදවාදය හේතුවෙන් දැඩි පසුබෑමකට ලක්විය. එහෙත් 90 දශකයේ දී නැවත ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි දකුණු අප්‍රිකා ක්‍රිකට් පිලට සුදු ජාතිකයන් මෙන්ම කළු ජාතිකයෝ ද හරි හරියට ක්‍රීඩා කරති. ජාතිභේදය මෙන්ම ආගම් භේදයත් මේ වනවිට දකුණු අප්‍රිකාවෙන් තුරන්වී ගොසිනි.

හෂීම් අම්ලා, ඉම්රාන් තාහීර් වැනි මුස්ලිම් ජාතිකයන්ට ද දකුණු අප්‍රිකානු ක්‍රිකට් පිලේ දොරටු විවර වන්නේ ඒ අනුවය. ලෝක ක්‍රිකට් පිටියේ ප්‍රබලතම පිතිකරුවකු බවට පත්වූ හෂීම් අම්ලා එරට ටෙස්ට් පිලේ නායකත්වයට පත්වූයේ මෑතකදීය. එහෙත් ඊට පෙර ඔහු වසර ගණනාවක්ම ජාතික කණ්ඩායම නියෝජනය කර තිබිණි.

එරට පළමුපෙළ ක්‍රිකට් පිටියේ දස්කම් පාන හෂීම්ගේ සොයුරු අහමඩ් අම්ලාට නම් එවැනි රැවුලක් නැත. හෂීම්ට වඩා අවුරුදු 4ක් වැඩිමල් අහමඩ් කියන පරිදි ඔවුන් දෙදෙනා ක්‍රීඩාවට එක්වී ඇත්තේ කුඩාවියේදිමය. දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවරින් කිලෝමීටර් 40ක් ඈතට පිහිටි ටොන්ගාඩ් පළාතේ සිය කුඩා විය ගෙවුණු සමයේ දී ඔවුහු ක්‍රිකට්, ටෙනිස්, පාපන්දු මෙන්ම තවත් බොහෝ ක්‍රීඩාවලට දස්කම් දැක්වූහ. ඉන්දියා සම්භවයක් සහිත අම්ලා සොයුරන්ගේ පියා ආචාර්ය මොහොමඩ් අම්ලා විවෘත මනසකින් යුතු පුද්ගලයෙක් විය. ඔහු සිය පුතුන්ට දකුණු අප්‍රිකානු සංස්කෘතියට හැඩගැසීමේ අවස්ථාව උදාකර දුන්නේය. දැඩි ලෙස ඉස්ලාම් දහමට කැපවී සිටියේ ඔවුන්ගේ මවය. ක්‍රීඩාවට කැමැත්තක් නොදැක්වූවත් ඇය සිය පුතුන්ට හරස් කැපුවේ නැත. අවසානයේ හෂීම් නතරවුයේ ජාතික කණ්ඩායමේය.

හෂීම් ජාතික කණ්ඩායමට එක්වන විට 21 වන වියේ පසුවිය. ඒ මීට වසර 10කට පෙරය. එහෙත් ඒ වනවිටත් දැඩි ඉස්ලාම් භක්තිකයකු වූ ඔහුට ජාතික කණ්ඩායමට එක්විමේ දී තිබූ විශාලතම බාධාව වූයේ ජාතික ක්‍රිකට් පිල ‘කාස්ල්‘ බියර් සමාගමේ අනුග්‍රහකත්වය යටතේ ක්‍රීඩා කිරීමය. ජාතික පිලේ සියලුම ක්‍රීඩකයන්ගේ නිල ඇඳුමට කාස්ල් බීර ලාංඡනය ද එක්වී තිබිණි.

එහෙත් හෂීම් අම්ලා ජාතික ක්‍රිකට් පිල නියෝජනය කිරීමේ අවස්ථාව දෙවරක් සිතා බැලුවේය. ඉස්ලාම් දහමට අනුව මත්පැන් තහනම්ය. එබැවින් බීර වෙළෙඳ ලාංඡනය ප්‍රවර්ධනය කිරීමට ඔහුට නොහැකිය. ඔහු ඒ බව දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන්ට දන්වා සිටියේය. වඩාත් නම්‍යශීලීව හා උපේක්ෂාවෙන් මේ ගැටලුව දෙස බැලූ එරට ක්‍රිකට් බලධාරීන් බීර ලාංඡනයට වඩා අවධානය යොමු කළේ අම්ලාගේ ක්‍රීඩා හැකියාව කෙරෙහිය. ඒ අනුව දකුණු අප්‍රිකානු ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ක්‍රීඩකයකුට විශේෂත්වයක් සිදු විය. අම්ලා කණ්ඩායමට බඳවා ගැනීමටත්, ඔහුගේ නිල ඇඳුමට බීර ලාංඡනය එකතු නොකිරීමටත් පියවර ගනු ලැබීය. අදටත් අම්ලාගේ ක්‍රීඩා ඇඳුම් කට්ටලයේ කාස්ල් බීර ලාංඡනය නොමැත.

හෂීම් අම්ලාගේ ක්‍රිකට් ජීවිතය ඉතා සැහැල්ලු හා සාමකාමී එකකි. ඔහුට ලොව පුරා රසික රසිකාවියන් දහස් ගණනකි. එහෙත් ඔහුගේ පවුලේ ඥාතීන්ට නම් ක්‍රිකට් ක්‍රීඩාව එතරම් දෙයක් නොවීය.

2012 වසරේ එංගලන්තයේ දී ඔහු වාර්තාගත ටෙස්ට් ත්‍රිත්ව ශතකය රැස් කළ මොහො‍තේ ඔහුගේ බිරිය සුමෙයියා සහ පුතු අබ්දුල්ලා සිටියේ ද ලන්ඩනයේය. එහෙත් ඔවුන් ක්‍රීඩා පිටියට පැමිණියේ ඔහු ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමෙන් පසුවය. සම්පූර්ණයෙන්ම සිරුර වසාගත් සුමෙයියා සම්ප්‍රදායික මුස්ලිම් කාන්තාවකි. දෙදෙනා එක්වූයේ යෝජිත විවාහයකිනි. ඒ වනවිට ගුරුවරියක ලෙස සේවය කළ සුමෙයියා විවාහයෙන් පසුව රැකියාවට සමුදුන්නේය.

මුහුණපුරා වවාගත් රැවුලත්, මුස්ලිම් ජාතිකයකු වන ‍නිසාත් ඔහු අපහසුතාවට පත්වූ අවස්ථා ද නැත්තේ නොවේ. 2006 වසරේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ජාත්‍යන්තර විස්තර විචාරකයකු ලෙස කටයුතු කළ ඔස්ට්‍රේලියාවේ ඩීන් ජෝන්ස් කළ ප්‍රකාශයක් හේතුවෙන් ලෝක ක්‍රිකට් පිටිය එහෙම පිටින්ම ගිනි ගත්තේය. එම සංචාරය අතරතුර කොළඹ පැවැති ටෙස්ට් තරගයේ දී ශොන් පො‍ලොක්ගේ පන්දුවකට කුමාර් සංගක්කාර දවාලීමට ඔහු අති විශිෂ්ට උඩපන්දුවක් රැක ගත්තේය. ඒ මොහොතේ ‍ඩීන් ජෝන්ස් කියා සිටියේ ‘ත්‍රස්තවාදියා තවත් කඩුල්ලක් ඩැහැ ගත්තා’ යනුවෙනි. සජීවිව ලොව පුරා ඒ ප්‍රකාශය පැතිර ගිය අතර ලෝක ක්‍රිකට් ප්‍රජාවගේ දැඩි අප්‍රසාදයට ‍එය හේතුවක් විය. දකුණු අප්‍රිකානු ක්‍රිකට් බලධාරීන් මෙන්ම එරට ක්‍රීඩාලෝලින් ද සමස්ත ක්‍රිකට් ප්‍රජාව ද ජාති භේදයකින් තොරව ඩීන් ජෝන්ස්ගේ ඒ ප්‍රකාශය හෙළා දුටුවේය. එම අවස්ථාවේ මයික්‍රෆෝනය ක්‍රියාත්මක වෙමින් පැවැති බව ඩීන් ජෝන්ස් දැනගත්තේ පසුවය. හෙතෙම කලබලයට පත්විය. ඔහු වහා අම්ලාගෙන් සමාව අයැද සිටියේය.

‘ඩීන් මා වෙත ඔහුගේ කනගාටුව ප්‍රකාශ කළා. ඉස්ලාම් දහමට අනුව කිසිවකු හෝ ඔබගෙන් සමාව අයැද සිටියොත් ඔහුට සමාව දිය යුතුයි. මා ඒ සිදුවීම ඒ මොහොතේම අමතක කළා.’ පසුව එංගලන්තයේ ගාඩියන් පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් අම්ලා කියා සිටි‍යේය.

‘ඇතැමුන් සිතන්නේ රැවුල වවාගත් මුස්ලිම්වරුන් සියල්ලම අල් කයිඩා ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් බවයි.’ අම්ලා සිනාසෙමින් එසේ කියයි.

‘කිසිවකු ඉස්ලාම් දහම හෝ මගේ රැවුල ගැන හෝ විමසීම සතුටක්. මා සතු දැනුම තව කෙනෙක් සමග බෙදා හදා ගැනීමත් මගේ සතුටට හේතුවක්. එංගලන්තයේ දී ඇතැමුන් මගේ රැවුල ඩබ්.ජි.ග්‍රේස්ගේ රැවුලට සමාන කළා. ඒත් ඔහුගේ රැවුල මට ව‍ඩා දිගින් වැඩියි. මුහුණ පුරා වැවුණු රැවුල ඔහුට ප්‍රතාපවත් පෙනුමක් ලබාදී තිබුණා. එය ඔහුගේ දස්කම් මිනිස්සු අතරට යාමටත් අතිරේක වාසියක් වුණා. රැවුලත්, ක්‍රිඩාවත් මට එක වගේ වැදගත්. ‘ අම්ලා කියයි.

Share on Google Plus

රුමෙෂා නිම්තකි .

    Blogger Comment
    Facebook Comment